Perth Zoo හි සිටින කිඹුලෙකුට යකඩ බටයකින් පහරදී හිංසා කළ නවයොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

ඉරිදා පස්වරුවේ Perth Zoo වසා තැබීමෙන් පසුව, අදාළ පරිශ්‍රයට ඇතුළු වී ඇති අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන මෙම තරුණයින් දෙදෙනා, ආරක්ෂිත කුටියේ අගුළු කඩා ඇතුළු වී තිබෙනවා. පසුව එහි සිටි Dangalabba නමැති මීටර් 4ක් දිගැති කිඹුලාට යකඩ බටයකින් පහරදී ඇති බවයි WA Police සඳහන් කරන්නේ.

මෙම සිදුවීම අභ්‍යන්තර CCTV කැමරාවල සටහන්ව ඇති අතර, සැකකරුවන් විසින් එම කැමරාවලට ද හානි සිදුකර තිබෙනවා. පසුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව අක්‍රමවත් ලෙස ඇතුළු වීම, දේපළ හානි කිරීම සහ සත්ව හිංසනය යන චෝදනා යටතේ Perth Children’s Court හමුවේ නඩු පවරා ඇති බවයි.

පහරකෑමට ලක්වූ 45 හැවිරිදි මෙම කිඹුලා සුළු තුවාල ලබා ඇති අතර, Perth Zoo හි පශු වෛද්‍ය කණ්ඩායම් විසින් සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවනවා.