සිඩ්නි ගුවන් තොටුපළෙහි ධාවන පථ ආශ්‍රිතව අනතුරුදායක ලෙස ගුවන්යානා එකිනෙක ගැටීමට ආසන්නවීම් සහ අවසරයකින් තොරව ධාවන පථයට ඇතුළු වීම්,ඕස්ට්‍රේලියානු ජාතික සාමාන්‍ය අගයට වඩා 20%කින් ඉහළ ගොස් ඇති බවට හෙළි වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, පසුගිය ජූලි සහ අගෝස්තු මාසවල සිදුවූ බරපතල ගුවන් ආරක්ෂණ සිදුවීම් 4කට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පාලන කුළුණේ පැවැති සේවක හිඟය සහ සේවකයින්ගේ අධික වෙහෙස බවයි. මෙම සිදුවීම් අතර Qantas, Jetstar සහ Virgin යන ගුවන්සේවාවලට අයත් යානා එකිනෙක ගැටීමට ආසන්න වූ ප්‍රබල ආසන්න අනතුරු කිහිපයක්ද වනවා.

මෙම තත්ත්වය හමුවේ සිඩ්නි ගුවන් තොටුපළෙහි ගුවන් ගමනාගමන පාලනය අධීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරිය වන Catherine King මහත්මිය විසින් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර, අදාළ අවසාන පරීක්ෂණ වාර්තාව 2027 වසරේදී නිකුත් කිරීමට නියමිතයි.