එළඹෙන දීර්ඝ සතිඅන්තයේදී ගමනාගමනයේ යෙදෙන රථවාහන රියදුරන්ට, පිරවුම්හල්වලින් අධික ලෙස මුදල් අය කිරීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දෙනවා.

තොග මිල ගණන් පහළ ගියද, පිරවුම්හල් විසින් පෙට්‍රල් සහ ඩීසල් සඳහා සිල්ලර මිල ගණන් අනවශ්‍ය ලෙස ඉහළ දමා ඇති බවටයි ඕස්ට්‍රේලියානු පෙට්‍රෝලියම් ආයතනයේ දත්ත පෙන්වා දෙන්නේ. මේ වන විට පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල $2.37ක් වන අතර, ඩීසල් ලීටරයක මිල $2.86ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, අනවශ්‍ය ලෙස වැඩි මුදලක් ගෙවීමෙන් වැළකීම සඳහා ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ අඩුම මිල ගණන් සහිත පිරවුම්හල් සොයා ගන්නා ලෙස NRMA ආයතනය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මැද පෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළ ගියද, ඕස්ට්‍රේලියාව තුළ මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, රටේ ඉන්ධන ආරක්ෂණතාවය තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් දේශගුණික විපර්යාස හා බලශක්ති අමාත්‍ය Chris Bowen සඳහන් කළා.