වසර 50කට වැඩි කාලයකට පසු එළඹෙන උණුසුම්ම වසන්ත ඍතුවට මුහුණ දීමට ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට සිදුවන බව Weatherzone කාලගුණ වාර්තා පෙන්වා දෙනවා.
සැප්තැම්බර් 1 වනදා සිට ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර දෙසට හමා එන උණුසුම් වායු ධාරාවත් සමඟ NSW ප්‍රදේශවලට ග්‍රීෂ්ම ඍතුවට සමාන කාලගුණයක් ඇතිවීමට නියමිතයි. මේ අනුව, Sydney හි උෂ්ණත්වය 27°C දක්වා ඉහළ යා හැකි අතර, මෙය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 4ත් 7ත් අතර වැඩිවීමක්. Sydney හි මෙවැනි උණුසුම් වසන්ත ආරම්භයක් වාර්තා වන්නේ වසර 161කට පසුවයි.
Sydney වලට අමතරව රටේ South-East ප්‍රදේශ රැසකටත් මෙම බලපෑම එල්ල වනවා. සැප්තැම්බර් 1 වනදා Melbourne සහ Adelaide නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 සිට 22 දක්වාත්, Canberra හි උෂ්ණත්වය අංශක 21 දක්වාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය වසර 5කට පසු එම නගරවල වාර්තා වන ඉහළම අගයයි.
Bureau of Meteorology වාර්තාවලට අනුව 1850න් පසු Sydney, Melbourne සහ Canberra යන නගරවලින් වාර්තා වූ උණුසුම්ම ශීත ඍතුව පසුගිය ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුළ වාර්තා වුණා. Adelaide සහ Hobart නගරවලින්ද ඉතිහාසයේ දෙවන උණුසුම්ම ශීත ඍතුව වාර්තා වී තිබෙනවා.



