තලේබාන් පාලනයෙන් ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් අහෝසි කිරීමත් සමග පාකිස්ථානයට පලාගිය ඇෆ්ගන් මානව හිමිකම් ක්‍රියාකාරිනියන් සහ ඔස්ට්‍රේලියානු හමුදාවන්ට සහාය දැක්වූ පරිවර්තකයින් ඇතුළු පිරිසක් නැවත ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කිරීමේ අවදානමකට මුහුණ පා සිටිනවා.

තමන්ව නැවත ඇෆ්ගනිස්ථානයට යැවුවහොත් තලේබාන් සංවිධානය විසින් අනිවාර්යයෙන්ම තමන්ව ඝාතනය කරනු ඇති බවයි පාකිස්ථානයේ රැඳී සිටින මෙම පිරිස් පෙන්වා දෙන්නේ. පාකිස්ථාන රජය විසින් නීති විරෝධී ලෙස රැඳී සිටින විදේශිකයින් පිටුවහල් කිරීමේ මෙහෙයුම් වේගවත් කර තිබීම හේතුවෙන් මොවුන් දැඩි භීතියකින් පසුවනවා.

ඔස්ට්‍රේලියාවෙන් මානුෂීය වීසා බලපත්‍ර අපේක්ෂාවෙන් අයදුම්පත් යොමුකර වසර ගණනාවක් තිස්සේ මඟබලා සිටින මෙම පිරිස, තමන්ගේ අයදුම්පත් පරික්ෂා කිරීමේ කටයුතු වහාම වේගවත් කරන ලෙස ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටිනවා. කෙසේවෙතත්, පාකිස්ථානයේ පවතින නීතිමය තත්ත්වයන් හමුවේ මෙම වීසා ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බවයි ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.