Victoria ප්‍රාන්තයේ දැවැන්ත රාජ්‍ය සහ සිවිල් යටිතල පහසුකම් ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිදුව ඇති බව කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට පත්කළ Royal Commission හි පළමු මූලික නඩු විභාගය ලබන බදාදා Melbourne මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට මාස 2කටත් අඩු කාලයක් තිබියදී පැවැත්වෙන මෙම විමර්ශනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. ජූලි මාසයේදී ප්‍රාන්ත අගමැති ලෙස පත් වූ Ben Carroll ගේ පළමු තීරණය වූයේ මෙම කොමිෂන් සභාව පත්කිරීම වන අතර, ඩොලර් මිලියන 50ක අයවැයක් සහිතව පත්කළ මෙම කොමිසමේ සභාපතිත්වය දරන්නේ South Australia හි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාර Christopher Kourakis විසිනුයි.

මෙහිදී ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සිදුවූ දූෂණවල ප්‍රමාණය, ඊට අදාළ රාජ්‍ය ආයතනවල අධීක්ෂණයේ පවතින අඩුපාඩු සහ කොන්ත්‍රාත්කරුවන් ගත් පියවරයන් පිළිබඳව පුළුල් ලෙස විමර්ශනය කෙරෙනවා. ප්‍රසිද්ධ නඩු විභාග පැවැත්වෙන කාලසටහන පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, කොමිසමේ අවසන් වාර්තාව ලබන වසරේ අගෝස්තු මාසයේදී රජයට භාරදීමට නියමිතයි.