Murray-Darling Basin හි ජල මිලදී ගැනීමේ ව්‍යාපෘති හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රජාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 140 ක අරමුදල් ලබා ගැනීමට Victoria ප්‍රාන්ත රජය සූදානම් වෙනවා.

Sustainable Communities Program යටතේ ෆෙඩරල් රජයෙන් හිමිවන මෙම මුදල් කෘෂිකාර්මික අංශයට, ජල ව්‍යාපෘතිවලට සහ පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීමට නියමිත බවයි Victoria ප්‍රාන්ත ජල කටයුතු අමාත්‍ය Michaela Settle සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම අරමුදල් බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් ප්‍රාන්තයේ නගර සභා 7 ක් තම නොසතුට පළ කර තිබෙනවා. Swan Hill නගරාධිපති Stuart King සහ Gannawarra Shire නගරාධිපති Garner Smith ඇතුළු පිරිස චෝදනා කරන්නේ, අදාළ මුදලින් නගර සභා වෙත ලැබෙන්නේ ඩොලර් මිලියන 10 ක් වැනි කුඩා ප්‍රමාණයක් බවත්, එය ප්‍රාදේශීය අවශ්‍යතාවලට ප්‍රමාණවත් නොවන බවත්ය.

නමුත් අමාත්‍ය Michaela Settle කියා සිටියේ, මෙම වැඩසටහන නතර කිරීමේ සූදානමක් නොමැති අතර ගොවීන් සහ ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් මෙම මුදල් ලබා දීමට කටයුතු කරන බවයි.