වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති සැපයුම සම්බන්ධයෙන් Labor පක්ෂය සහ Coalition සන්ධානය ප්‍රතිපත්තිමය වශයෙන් පැහැදිලි මතභේදයකට එළඹ තිබෙනවා. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේදී වික්ටෝරියානු ජනතාවගේ ප්‍රධාන අවධානය යොමුවන කරුණක් බවට මෙය පත්වනු ඇති.

Gippsland හි Yallourn ගල්අඟුරු බලාගාරය 2028 වසරේදී වසා දැමීමට නියමිත අතර, පසුගිය වසරේදී ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 14.8% ක් සපයනු ලැබුවේ මෙම බලාගාරයෙන්.

One Nation පක්ෂයෙන් එල්ල වන දේශපාලන බලපෑම සහ ගොවි ජනතාවගේ විරෝධය හමුවේ, ඩොලර් බිලියන 7.6 ක වියදමින් ඉදිකිරීමට යෝජිත VNI West අධි-වෝල්ටීයතා විදුලි රැහැන් ව්‍යාපෘතිය අත්හැරීමට Coalition සන්ධානය තීරණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එක්කරමින් විදුලි ගාස්තු අඩුකිරීමට හැකිවන බවයි එහි යෝජකයින් පවසන්නේ.

නමුත් මේ වන විටත් රාජ්‍ය ආණ්ඩුව ස්පාඤ්ඤයේ Iberdrola සමාගම සමග 240 km ක විදුලි රැහැන් පද්ධතියක් Wimmera හරහා Victoria සහ NSW යා කරමින් ඉදිකිරීමට ගිවිසුම්ගතව අවසන්. මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි බවටද මත පළවනවා. විගණකාධිපති පෙන්වා දෙන්නේ VNI West ව්‍යාපෘතිය වසර දෙකකින් ප්‍රමාද වී ඇති අතර එය අවසන් වන්නේ 2030 වසරේදී බවයි.

බලශක්ති අමාත්‍ය Jaclyn Symes සඳහන් කළේ පරණ ගල්අඟුරු බලාගාර වැසී යාමේදී පාරිභෝගිකයාට අඩු මිළට විදුලිය ලබාදීමට VNI West වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති Labor ආණ්ඩුව විසින්ම ඉදිකරන බවයි. Coalition සන්ධානයේ මෙම අදූරදර්ශී තීරණය නිසා මුළු Victoria ප්‍රාන්තයම අඳුරේ වැටී විදුලි බිල ඉහළ යන බවට ඇය චෝදනා කළා.

එහෙත් විපක්ෂ බලශක්ති අමාත්‍ය David Davis පවසන්නේ VNI West ව්‍යාපෘතියට සමාජීය අනුමැතිය අහිමි වී ඇති අතර ඉදිරියේදී විදුලිය විසන්ධි වීමේ දැඩි අවදානමක් පවතින බවයි. VNI West මෙන්ම Western Renewables Link ව්‍යාපෘතියද අත්හිටුවා ස්වාභාවික ගෑස් භාවිතය ඉහළ නැංවීමට Coalition සන්ධානය යෝජනා කරනවා. DEECA දත්තවලට අනුව ප්‍රාන්තයේ බලශක්ති උත්පාදනයෙන් ගෑස් සඳහා හිමිවන්නේ 2.4% ක් පමණයි.

කෙසේ වෙතත්, Grattan Institute හි Tony Wood සහ St Vincent de Paul හි Gavin Dufty වැනි බලශක්ති විශේෂඥයින් පෙන්වා දෙන්නේ ගෑස් භාවිතය වැඩි කිරීම ප්‍රායෝගික නොවන බවයි. Bass Strait හි ගෑස් නිධි සිඳී යමින් පවතින අතර, පයිප්ප පද්ධති පුළුල් කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔවුන් සඳහන් කරනවා.

වික්ටෝරියානු බලශක්ති ප්‍රතිපත්ති මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂ Bruce Mountain මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ VNI West ව්‍යාපෘතිය අතහැරීමට Coalition සන්ධානය ගත් තීරණය සුබදායක බවත්, Yallourn බලාගාරය වසා දැමුවද විදුලිය විසන්ධි වීමේ අවදානමක් නැති බවත්ය. නමුත් පිරිසිදු බලශක්ති කවුන්සිලයෙහි ප්‍රධානී Jackie Trad චෝදනා කරන්නේ Coalition සන්ධානයේ මෙම තීරණය දේශපාලන අරමුණු පෙරදැරි කරගත්තක් වන අතර එමගින් ප්‍රාන්තයේ පුනර්ජනනීය බලශක්ති ආයෝජන අඩාල වන බවයි.