Victoria හි north-east ප්‍රදේශයේ Harrietville හිදී අතුරුදහන් වූ 85 හැවිරිදි පුද්ගලයෙකු සෙවීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ Jacobus හෙවත් John නමැති අයෙක්. පසුගිය ඉරිදා රාත්‍රී 10.00 ට පමණ Harrietville Hotel එකෙන් පිටව යාමෙන් පසුවයි ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැත්තේ.

සිය බිරිඳ සමඟ හෝටලයට පැමිණ ඇති මොහු, ඇය Great Alpine මාර්ගය ඔස්සේ දකුණු දෙසට 200m ක් පමණ දුරින් පිහිටි නිවසට යද්දී, WBD-077 අංක දරන රිදී පැහැති 2007 Toyota LandCruiser රථයෙන් නිවස බලා පිටත්ව තිබෙනවා. නමුත් බිරිඳ නිවසට ළඟා වන විටත් ඔහු හෝ රථය නිවසට පැමිණ තිබුණේ නැහැ.

John සාමාන්‍යයෙන් තනිවම දුර ගමන් නොයන බැවින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් සහ පොලිසිය දැඩි කනස්සල්ල පළ කරනවා.

මේ වන විට Harrietville සහ Bright ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම Mount Hotham සහ Great Alpine මාර්ගය ඔස්සේ පොලිස් ගුවන් ඒකකයේ සහාය ඇතිව විශේෂ සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ඔහු පිළිබඳ හෝ මෙම වාහනය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම Triple Zero (000) අංකය අමතන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.