Albury Wodonga Health රෝහල් පද්ධතිය තුළ ශ්වසන ආබාධ සහ උණ රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ දැඩි රෝගී තදබදයක් හටගෙන තිබෙනවා.
පවතින අධික රෝගී තදබදයට මුහුණ දීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හැකි තරම් ඉක්මනින් රෝගීන් නිවෙස් වෙත මුදා හරින ලෙසයි ප්‍රධාන වෛද්‍ය නිලධාරී Simon Craig විසින් වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත්තේ. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සෘජු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය පුහුණුව ලබන නිලධාරීන් මගින් රෝගීන් නිදහස් කිරීමටත්, නිවසේ සිට රෝහල් ප්‍රතිකාර සහ දුරස්ථ වෛද්‍ය සේවා වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීමටත් පියවර ගන්නා ලෙස පවසා තිබෙනවා.
Victoria ප්‍රාන්තය පුරා පසුගිය ජූලි අග සිට ඉන්ෆ්ලුවෙන්සා (Flu) රෝගීන්ගේ 400% ක ක්ෂණික වර්ධනයක් වාර්තා වී ඇති අතර, මෙවර උණ රෝගී තත්ත්වය ශීත ඍතුවෙන් පසුව ප්‍රමාද වී ව්‍යාප්ත වීම මෙම රෝහල් තදබදයට ප්‍රධාන හේතුවයි. කෙසේ වෙතත්, හදිසි සහ අතිශය බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට බාධාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ.



