Victoria ප්‍රාන්තයේ බාලවයස්කාර අපරාධ අධිකරණ ක්‍රමයේ විශාල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතයි.

මේ යටතේ මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ වාහන පැහැරගැනීම් වැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වන බාලවයස්කාර අපරාධකරුවන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නියමිත අවස්ථාවලදී හෝ ඇප මත මුදාහැරීමට තීරණය කළ විට, ඒ පිළිබඳව වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පූර්ව දැනුම්දීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

සැප්තැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වන නව නීතිය යටතේ, වින්දිතයන්ට විශේෂ ලියාපදිංචි ලේඛනයක් හරහා මෙම තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබෙනවා. මෙතෙක් මෙම පහසුකම ලබාදී තිබුණේ වැඩිහිටි අපරාධකරුවන් සම්බන්ධ සිද්ධීන් සඳහා පමණක් වන අතර, මෙම පහසුකම හඳුන්වා දෙන ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට Victoria පත්වනවා.

කෙසේ වෙතත්, මෙම නව සංශෝධනය අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මක නොවන බැවින්, මෑතකදී සිදුවූ ඇතැම් ප්‍රසිද්ධ අපරාධවල වින්දිතයන්ට මෙම දැනුම්දීම් ලබාගැනීමට හැකියාව නොලැබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර, බාලවයස්කාර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද සංශෝධනය කර තිබෙනවා. හැකි සෑම අවස්ථාවකදීම සැකකාර තරුණයන් සෘජුව අත්අඩංගුවට ගැනීම වෙනුවට අවම බලපෑමක් ඇති ක්‍රමවේද භාවිත කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති අතර, අපරාධයේ ස්වභාවය සහ නැවත වරදක් සිදුකිරීමේ අවදානම සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ප්‍රාන්ත රජය පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා ප්‍රජා ආරක්ෂාවට මුල්තැන දෙමින් වින්දිතයන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බවයි.