Victoria ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සඳහා නුසුදුසු සේවකයින් සැපයීම සහ පඩිපත්වල තොරතුරු වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් Barton Care Pty Ltd ආයතනයේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට Victoria හි Labour Hire Authority (LHA) ආයතනය පියවර ගෙන තිබෙනවා.

අදාළ ආයතනය මගින් යොදවා සිටි සේවකයින්ගෙන් 70%කට ආසන්න පිරිසකගේ සුදුසුකම් සහ සහතිකපත්‍ර අවලංගු ඒවා බවට නිරීක්ෂණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් මාස 6 සිට 9 දක්වා කාලයක් ගතවන පාඨමාලා, ඕස්ට්‍රේලියාවට පැමිණ දින 9ක් ඇතුළත සම්පූර්ණ කළ බවට පෙන්වූ ව්‍යාජ සහතිකපත්‍රද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, සේවකයින්ට අඩු වැටුප් ගෙවීම සහ ශිෂ්‍ය වීසා හිමියන් සඳහා නීත්‍යානුකූලව හිමි පැය ගණනට වඩා වැඩි කාලයක් සේවයේ යෙදවීම සඳහා පඩිපත් වෙනස් කිරීම වැනි නීතිවිරෝධී කටයුතුවලද මොවුන් නිරත වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Victoria, New South Wales, Tasmania සහ ACT යන ප්‍රදේශවල රෝහල් සහ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන වෙත සෞඛ්‍ය සේවකයින් 600කට අධික සංඛ්‍යාවක් සපයනු ලබන මෙම ආයතනයේ බලපත්‍රය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරමින් සිටින බවයි Labour Hire Authority ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.