Victoria ප්‍රාන්තයේ මාර්ග දැඩි ලෙස අබලන් වීමට ප්‍රධාන හේතුව මාර්ග නඩත්තුව පෞද්ගලීකරණය කිරීම බව VicRoads ආයතනයේ හිටපු නිලධාරීන් පෙන්වා දෙනවා. එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදීත් මාර්ග අලුත්වැඩියාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඊයේ නිකුත් වූ Auditor-General වාර්තාවකට අනුව, Victoria හි ප්‍රධාන මාර්ගවලින්  48% ක්ම ඉතා ඉතා අයහපත් තත්ත්වයක පවතින බව අනාවරණය වී තිබෙනවා.

VicRoads හි හිටපු ඉංජිනේරුවෙකු වන Jeff Moran සඳහන් කළේ 90 දශකයේ අගභාගයේදී Kennett රජය විසින් මාර්ග නඩත්තුව පෞද්ගලික අංශයට පැවරීමෙන් පසු, නිසි පරිදි අලුත්වැඩියා කටයුතු සිදු නොවූ බවයි. පෞද්ගලික සමාගම්වල අධික පිරිවැය හමුවේ ප්‍රතිපාදන මදිවීමෙන් නඩත්තු කටයුතු අඩපණ වූ බව තවත් හිටපු නිලධාරියෙකු වන Gary Rusmand ප්‍රකාශ කළා.

මේ අතර, පෞද්ගලීකරණය අවසන් කර මාර්ග නඩත්තුව නැවතත් රජය යටතට ගන්නා බවට ප්‍රාන්ත අගමැති Ben Carroll පොරොන්දු වී තිබෙනවා. එසේම Liberal-National සන්ධානයද මාර්ග අලුත්වැඩියාව සඳහා ඩොලර් බිලියන 5 ක ප්‍රතිපාදන වෙන්කිරීමට පොරොන්දු වී තිබෙනවා.