විවේක දිනවල සේවයට වාර්තා කිරීම මැදිරි කාර්ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ Virgin Australia ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

අධික වෙහෙස සහ දීර්ඝ සේවා මුර හේතුවෙන් සේවකයින් මෙලෙස අමතර සේවා මුර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එමගින් ඇතිවූ සේවක හිඟය හේතුවෙන් පසුගිය සති අන්තයේ පමණක් ගුවන් ගමන් වාර 30ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ. Brisbane, Cairns, Sydney, Perth, Darwin, Melbourne, Queenstown සහ Nadi වැනි ගමනාන්ත අතර පැය 10කට වඩා වැඩි කාලයක් පවතින දීර්ඝ ගුවන් ගමන් සඳහා මෙම බලපෑම දැඩිව එල්ල වී තිබෙනවා.

දැනට පවතින ක්‍රමවේදයට අනුව නිවාඩු දිනවල සේවයට කැඳවන සේවකයින්ට ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, සේවකයින් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බවත් වෘත්තීය සමිති පෙන්වා දෙනවා. FAAA වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ උපරිම සේවා කාලය අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නව සේවා ගිවිසුමක් සඳහා සාකච්ඡා පවත්වන පසුබිමක මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

එමෙන්ම, අධික ඉන්ධන මිල හමුවේ වුවද Virgin Australia සමාගම 2026 මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 579ක ශුද්ධ ලාභයක් ලබා ඇති බවත්, සේවකයන් මත පීඩනය පටවමින් සමාගම අසීමිත ලෙස ලාභ ලබන බවත් වෘත්තීය සමිති චෝදනා කරනවා. කෙසේ වෙතත්, මෙම ගුවන් ගමන් අවලංගු වීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවයි Virgin Australia සමාගම පවසන්නේ.