Townsville CBD හි ඇති වී තිබෙන දැවැන්ත ගින්නක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී සිටිනවා.
සිකුරාදා උදෑසන 9.00 ට පමණ ආරම්භ වූ මෙම ගින්න මේ වන විට Flinders සහ Blackwoods වීදිය දක්වා පැතිර ගොස් ඇති අතර, ගොඩනැගිල්ලක් මුළුමනින්ම ගිල ගනිමින් පවතින ගිනිජාලා මැඩපැවැත්වීමට ගිනි නිවන හමුදාව දැඩි උත්සාහයක නිරත වෙනවා.
තත්ත්වය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බැවින් Queensland ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් “Stay Informed” අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ගින්න තවමත් පාලනය කර නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
දුමාරයෙන් ආරක්ෂා වීම සඳහා නිවාසවල දොර ජනේල වසාගෙන ඇතුළතට වී සිටින ලෙසත්, පෙනහළු හෝ ශ්වසන අබාධ සඳහා ඖෂධ ලබා ගන්නා පිරිස් එම ඖෂධ ළඟ තබා ගන්නා ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අනවශ්‍ය ලෙස එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි උපදෙස් දී ඇත්තේ.
තවත් පැය ගණනාවක් ප්‍රදේශය පුරා දුමාරය පවතිනු ඇති අතර, ගිනි නිවන කටයුතු හේතුවෙන් මාර්ග කිහිපයක්ම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර Queensland පොලීසිය විසින් මහජන ආරක්ෂාව ආරක්ෂා කිරීමේ පනත යටතේ මෙම තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව Sturt, Blackwood, Walker Street, Stanley, Hanran, Flinders සහ Jones වීදි ඇතුළත් වන පරිදි විශේෂ ආරක්ෂිත කලාපයක් නම් කර ඇති අතර, නැවත දැනුම්දෙන තුරු එම කලාපයට ඇතුළු වීමෙන් වළකින ලෙස රියදුරන්ට සහ මහජනතාවට පොලිසිය දැනුම් දෙනවා.



