සේවක හිඟයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වැඩිම ගුවන් ගමන් ක්‍රියාත්මක වන Sydney ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා වී තිබෙනවා.

Airservices Australia ආයතනය සඳහන් කළේ ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය නිසා ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස පිටත්වන ගුවන් ගමන් සීමා කිරීමට පියවර ගත් බවයි. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා අමතර සේවකයින් පුහුණු කිරීමට සහ බඳවා ගැනීමට කටයුතු යොදමින් සිටින අතර, මගීන්ට තම ගුවන් ගමන් වේලාවන් පිළිබඳව Sydney Airport වෙබ් අඩවියෙන් පරීක්ෂා කරන ලෙස දැනුම් දෙනවා.

මේ අතර, පසුගිය සති කිහිපය තුළ Sydney Airport හි සිදු වූ අන්තරායකර සිදුවීම් 3ක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉන් එක් සිදුවීමකට අදාළව ඕස්ට්‍රේලියානු ගුවන් සේවා ආයතනයේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, ගුවන් පාලකයින්ගෙන් සහ ගුවන් නියමුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමටද පියවර ගෙන තිබෙනවා.