Sydney සහ Melbourne නගරවල නිවාස මිල ගණන් ඉදිරි මාස කිහිපය තුළ 10%කට වඩා පහත වැටෙනු ඇති බවට කෙරෙන අනාවැකිත් සමඟ, ඕස්ට්‍රේලියානු Labor රජය දැවැන්ත ආර්ථික අපොහොසත් වීමකට ලක්ව ඇති බවට විපක්ෂය චෝදනා කරනවා.

Commonwealth Bank වාර්තාවලට අනුව, මෙම මිල පහත වැටීම ලබන වසර දක්වාම සක්‍රියව පවතිනු ඇති. 2027 දෙවන භාගය වන තෙක් වෙළඳපොළ යථා තත්ත්වයට පත් නොවනු ඇති බවත්, එය ඕස්ට්‍රේලියානු මහ බැංකුව මඟින් පොලී අනුපාත අඩු කිරීම මත තීරණය වන බවත් සඳහන්.

Nationals පක්ෂයේ සෙනෙට් නායිකා Bridget McKenzie සඳහන් කරන්නේ මෙය Labor රජයේ ආර්ථික කළමනාකරණයේ අසාර්ථකත්වය හෝ අරමුණු සහගත ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් බවයි.

කෙසේ වෙතත්, නිවාස අමාත්‍ය Clare O’Neil මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙය නිවාස වෙළඳපොළේ සාමාන්‍ය චක්‍රීය හැසිරීමක් බවයි. රජය විසින් අයවැයෙන් හඳුන්වා දුන් බදු සංශෝධනවලින් බලාපොරොත්තු වන්නේ දිගුකාලීනව නිවාස මිල ගණන් අධික ලෙස ඉහළ යාම පාලනය කර, තරුණ පරම්පරාවට තමන්ගේම නිවසක් ලබා ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

එමෙන්ම පසුගිය ජූලි මාසයේදී සිදු කරන ලද මත විමසුමකට අනුව ඕස්ට්‍රේලියානුවන්ගෙන් 61%ක් නිවාස මිල ගණන් පහත වැටිය යුතු බවට අදහස් පළ කර තිබෙනවා.