Sydney හි Elanora Heights ප්‍රදේශයේ 16 හැවිරිදි නවයොවුන් තරුණියකගේ ඛේදනීය මරණයත් සමග, ලිංගික හා සබඳතා පිළිබඳ අධ්‍යාපනය පුළුල් ලෙස ලබාදීමේ අවශ්‍යතාව නැවතත් දැඩි ලෙස මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
මෙම තරුණියගේ මරණයට ගෙල සිර කිරීම හේතු වන්නට ඇති බවට සැකකෙරෙන අතර, පොලිස් පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මකයි. මෙම ඛේදවාචකයත් සමග ප්‍රකාශයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී Zali Steggall සඳහන් කළේ, තරුණ පරපුර දැනුවත් කිරීමේ ජාතික මට්ටමේ අධ්‍යාපන වැඩසටහනක අත්‍යවශ්‍යතාව මෙමගින් මනාව පැහැදිලි වන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය Tanya Plibersek පෙන්වා දෙන්නේ කිසිදු ලෙසකින් ගෙල සිරකිරීම ආරක්ෂිත නොවන බවත්, තරුණ තරුණියන් අත්විඳින මෙවැනි අන්තරායකර තත්ත්වයන් පිළිබඳව දෙමාපියන් සිය දරුවන් සමග විවෘතව කතාබහ කළ යුතු බවත්ය.
මෑතකදී සිදුකළ සමීක්ෂණවලින් ද හෙළි වී ඇත්තේ තරුණ පරපුර අතර මෙවැනි අන්තරායකර ලිංගික හැසිරීම් ඉහළ ගොස් ඇති බවයි. මෙලෙස ගෙල සිරකිරීම් නිසා මොළයට බරපතල හානි සිදුවිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් ද දැඩි ලෙස අවධාරණය කරනවා.



