නොසිතූ ලෙස පැමිණි අධික උණුසුම් සහිත කාලගුණයත් සමඟ Greater Sydney ප්‍රදේශය පුරා සම්පූර්ණ ගිනි තහනමක් (Total Fire Ban) පැනවීමට NSW බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

වසර 50 කට පසුව එළඹි උණුසුම්ම වසන්ත ඍතුවේ ආරම්භය මෙය ලෙස සලකන අතර, සෙනසුරාදා දිනයේ Sydney හි උෂ්ණත්වය 33°C දක්වා ඉහළ යනු ඇති බවටයි කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ලැව්ගිනි අවදානම Extreme මට්ටම දක්වා ඉහළ යා හැකි බව NSW Rural Fire Service (RFS) ආයතනය පෙන්වා දෙනවා.

තහනම බලපැවැත්වෙන කාල සීමාව තුළ එළිමහනේ ගිනි තැබීම් සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ලැව්ගිනි අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැඩි සූදානමකින් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වයට හාත්පසින්ම වෙනස් ලෙස NSW හි ඇතැම් ප්‍රදේශවලට සහ Thredbo වැනි උස් බිම්වලට සෙනසුරාදා දින හිම පතනය වනු ඇති බවටද කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.