One Nation පක්ෂය විසින් ජීවන වියදම් සහනයක් ලෙස සුපර් අරමුදල් (superannuation) ලබාගැනීමට ඉදිරිපත් කළ නව යෝජනාව රජයේ සහ විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
එම යෝජනාවට අනුව, නිවාස කුලී හෝ ණය වාරික ගෙවන ජනතාවට තම අනාගත සුපර් අරමුදල් දායකත්වයෙන් 3% ක ප්‍රමාණයක් වසර 3 ක කාලයක් දක්වා ලබාගැනීමට අවස්ථාව හිමිවන බවයි One Nation නායිකා Pauline Hanson ප්‍රකාශ කළේ. මෙය ජීවන වියදම් අර්බුදයට මුහුණ දෙන ජනතාවට විශාල සහනයක් වනු ඇති බව පක්ෂය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මෙම යෝජනාව විවේචනය කරමින් සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek ප්‍රකාශ කළේ, මෙලෙස මුදල් ලබාගැනීමෙන් ජනතාවගේ විශ්‍රාමික දිවිය අඩාල වන බවයි. එමෙන්ම Liberal පක්ෂයේ නියෝජ්‍ය නායිකා Jane Hume සඳහන් කළේ, මෙය මාධ්‍ය අවධානය දිනාගැනීම සඳහා පමණක් ඉදිරිපත් කළ, පැහැදිලි සැලැස්මක් නැති යෝජනාවක් බවයි.



