ඕස්ට්‍රේලියාවේ Superannuation විශ්‍රාම අරමුදල් පද්ධතිය සම්බන්ධයෙන් Jim Chalmers සහ One Nation පක්ෂයේ Pauline Hanson අතර උණුසුම් දේශපාලන මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා.
Jim Chalmers, Labor පක්ෂයේ ආධාරකරුවන්ට යැවූ පණිවිඩයක සඳහන් කරන්නේ One Nation පක්ෂය ජනතාවගේ Superannuation අරමුදල් නැති කිරීමට උත්සාහ කරන බවයි. ඉදිරි මැතිවරණයේදී One Nation, Liberals සහ Nationals පක්ෂ එක්ව මෙම විශ්‍රාම අරමුදල් පද්ධතියට එරෙහිව කටයුතු කරන බවටද ඔහු චෝදනා කරනවා.
කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන One Nation නායිකා Pauline Hanson පවසන්නේ, තමන් Superannuation පද්ධතිය අහෝසි කිරීමට උත්සාහ නොකරන බවයි. නිවාස ණය ගෙවාගැනීමට නොහැකිව සහ දැඩි ජීවන වියදම් හමුවේ අසරණ වී සිටින ජනතාවට, තමන්ගේම විශ්‍රාම අරමුදල්වලින් කොටසක් හදිසි අවස්ථාවලදී ලබාගැනීමට අවස්ථාව දිය යුතු බව පමණක් තමන් යෝජනා කරන බව ඇය පෙන්වා දෙනවා.
මේ අතර, Labor රජය මැතිවරණයට පෙර දුන් පොරොන්දු කඩ කරමින් ඩොලර් මිලියන 3 ට වැඩි Superannuation ගිණුම් සඳහා වන බදු ප්‍රතිශතය 30% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද Jim Chalmers හට විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.



