Suburban Rail Loop ව්‍යාපෘතිය සඳහා මහජනතාවට නොදන්වා අය කළ 1% ක රහසිගත පොදු ප්‍රවාහන ගාස්තු බද්ද අහෝසි කිරීමට Victorian අගමැති Ben Carroll තීරණය කර තිබෙනවා. 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වූ මෙම බද්ද පිළිබඳ තොරතුරු එළිදරව් වූයේ වික්ටෝරියානු විගණකාධිපති කාර්යාලයේ වාර්තාවක් මගිනුයි. විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම පිළිබඳව අගමැතිවරයා කණගාටුව පල කර සිටිනවා.
මේ අතර SRL East ව්‍යාපෘතියෙන් ඩොලර් බිලියන 1 ක මුදලක් ඉතිරි කරගත් බවට අගමැතිවරයා කළ ප්‍රකාශය ද VAGO වාර්තාව මගින් අභියෝගයට ලක්කර තිබෙනවා. අදාළ පිරිවැය කැපීම් සඳහා හේතු වූ ස්ථාන දෙකක දුම්රිය මංසන්ධි ඉදිකිරීම් මුල සිටම ව්‍යාපෘතියේ ඩොලර් බිලියන 34.5 ක සමස්ත පිරිවැය ඇස්තමේන්තුවට ඇතුළත්ව නොතිබූ බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම අනාගත අවදානම් සහ හදිසි වියදම් සඳහා වෙන්කර තිබූ ඩොලර් බිලියන 9.5 ක මුදලින් විශාල කොටසක් SRLA ආයතනය මේ වන විටත් වැය කර ඇති අතර, ව්‍යාපෘතිය නියමිත වේලාවට සහ අයවැයට අනුව අවසන් කිරීමට නොහැකි වනු ඇති බවට VAGO වාර්තාව සඳහන් කරනවා. කෙසේ වෙතත් රජය පවසන්නේ ව්‍යාපෘතිය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන තවමත් පවතින බවයි.
තමන්ගේ නායකත්වය යටතේ වික්ටෝරියානු ජනතාවට විනිවිදභාවයෙන් යුතුව තොරතුරු ලබාදෙන බවත්, මුදල් ඉතිරි කරගනිමින් ප්‍රාන්තය අලුත් දිශාවකට ගෙන යන බවත් අගමැති Ben Carroll වැඩිදුරටත් සඳහන් කළා.



