Suburban Rail Loop ව්‍යාපෘතියේ පළමු අදියරෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 2 ක මුදලක් ඉතිරි කර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll සූදානම් වන බව වාර්තා වෙනවා.

Cheltenham සහ Box Hill යා කෙරෙන SRL East ව්‍යාපෘතිය සඳහා මීට පෙර ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 34.5 ක ඇස්තමේන්තුගත පිරිවැයක් වෙන්කර තිබුණද, අත්‍යවශ්‍ය නොවන අමතර අංග ඉවත් කිරීම මගින් ඩොලර් බිලියන 1 ක් ඉතිරි කර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව Box Hill සහ Glen Waverley හි භූගත දුම්රිය ස්ථාන හුවමාරු, Burwood සහ Cheltenham හි සංකීර්ණ පදික පාලම් ඉවත් කෙරෙන අතර Clayton හි දුම්රිය ස්ථාන ප්‍රවේශයන් දෙකක් වෙනුවට එකක් පමණක් පවත්වා ගැනීමට නියමිතයි. මීට අමතරව SRL ප්‍රජා ව්‍යාපෘති අරමුදල් වැඩසටහන අවසන් කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා Suburban Rail Loop Authority ආයතනය Victorian Infrastructure Delivery Authority වෙත අනුබද්ධ කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

තවත් ඩොලර් බිලියන 1 ක මුදලක් ස්වාධීන තාක්ෂණික සමාලෝචනයක් හරහා ඉතිරි කර ගැනීමට අපේක්ෂිත අතර, එම සමාලෝචනය අවසන් වන තෙක් ඉදිරි කොන්ත්‍රාත්තු පිරිනැමීම අත්හිටුවා තිබෙනවා. ජනතාවගේ මුදල්වලට ගෞරව කරමින් ව්‍යාපෘතිය නියමිත වේලාවට මෙන්ම වෙන් කළ අයවැයටත් වඩා අඩු පිරිවැයකින් නිම කිරීමට මෙම වෙනස්කම් උපකාරී වන බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ කළ අතර, විපක්ෂ නායිකා Jess Wilson සඳහන් කළේ ව්‍යාපෘතියේ විනිවිදභාවය සඳහා අදාළ සියලු කොන්ත්‍රාත්තු මහජනතාවට විවෘත කළ යුතු බවයි.