ලොව පුරා කුඩා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති Squishy සෙල්ලම් බඩු මයික්‍රෝවේව් අවන් තුළ රත් කිරීමේ සමාජ මාධ්‍ය රැල්ලක් නිසා ඕස්ට්‍රේලියාවේ කුඩා ළමුන් රැසක් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

Sydney Children's Hospitals Network සහ Queensland Children's Hospital හි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ වසර තුළ පමණක් මුහුණ, බෙල්ල සහ අත් ප්‍රදේශවලට බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදු වූ වයස අවුරුදු 6 ත් 12 ත් අතර ළමුන් විසි දෙනෙකුට වැඩි පිරිසකට ප්‍රතිකාර ලබා දුන් බවයි. මෙම සෙල්ලම් බඩු තුළ ඇති ජෙල් වර්ග රත් වූ විට සමේ ඇලෙන සුළු ස්වභාවයක් ගන්නා බැවින් ඉතා ඉක්මනින් ගැඹුරු තුවාල ඇති වන බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ.

මේ අතර, මෙම සෙල්ලම් බඩුවල පවතින දැඩි ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර ව්‍යාජ නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. මීට ප්‍රතිචාර වශයෙන් NeeDoh සෙල්ලම් බඩු නිෂ්පාදකයින් Australian Border Force (ABF) වෙතින් ඉල්ලා ඇත්තේ ප්‍රමිතියෙන් තොර මෙවැනි ව්‍යාජ සෙල්ලම් බඩු රට තුළට ඇතුළු වීම වහාම නතර කරන ලෙසයි.

වෛද්‍යවරුන් සහ පරිභෝගික ආරක්ෂණ බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සෙල්ලම් බඩු කිසිසේත්ම රත් කිරීමට ළමුන්ට ඉඩ නොදෙන ලෙසත්, නියමිත ප්‍රමිතියෙන් තොර, සැර රසායනික ගන්ධයක් සහිත සෙල්ලම් බඩු මිලදී ගැනීමෙන් වළකින ලෙසත්ය.