ඕස්ට්‍රේලියාවේ පවතින අධික ජීවන වියදම හමුවේ කාන්තාවන් සහ පාසල් සිසුවියන් මුහුණ දෙන දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිව විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා. South Australia හි සමාජ සේවිකාවක වන Cate Sherlock පවසන්නේ, දෛනිකව අවශ්‍ය සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වීම නිසා බොහෝ දෙනෙක් සෞඛ්‍යාරක්ෂිත නොවන ක්‍රමවේද සහ විකල්ප භාවිත කිරීමට පවා පෙළඹී ඇති බවයි.

South Australia හි කාන්තාවන්ගෙන් 66% ක් පමණ ජීවිතයේ යම් අවස්ථාවක මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර, පාසල් සිසුවියන් සඳහා ගුරුවරුන් විසින් තමන්ගේ පෞද්ගලික මුදලින් හෝ පාසල් අයවැයෙන් මෙම ද්‍රව්‍ය ලබාදීමට පවා කටයුතු කරන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මිදී පලායන කාන්තාවන්ට සහ අනාථ කාන්තාවන්ටද මෙය දැඩි ලෙස බලපා තිබෙනවා.

Share the Dignity සංවිධානයේ ප්‍රධානී Rochelle Courtenay පෙන්වා දෙන්නේ, Victoria, NSW, Queensland සහ ACT යන ප්‍රාන්ත රජයේ මැදිහත්වීමෙන් නොමිලේ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමේ යන්ත්‍ර මෙන්ම අවශ්‍ය නීතිමය පසුබිමද සකස් කර ඇති බවයි. නමුත් South Australia, NT සහ Tasmania යන ප්‍රාන්ත මේ සඳහා තවමත් නිසි වැඩපිළිවෙලක් සකසා නැති බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත්, South Australia අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ රජයේ පාසල් 500 කට වැඩි ප්‍රමාණයක සිසුවියන් 50,000 කට ආසන්න පිරිසකට නොමිලේ මෙම ද්‍රව්‍ය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, අනෙකුත් ප්‍රාන්ත මෙන්ම පූර්ණ නීතිමය ප්‍රතිසංස්කරණයක් හරහා සෑම කාන්තාවකටම මෙම පහසුකම නොමිලේ ලබාදීමට පියවර ගත යුතු බවයි වගකිවයුතු නිලධාරීන් සහ හිටපු මන්ත්‍රීවරියන් පෙන්වා දෙන්නේ.