ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතු 3ක් හඳුනාගෙන ඇති අතර, පොලී අනුපාත ඉහළ නැංවීම මගින් පමණක් එම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Reserve Bank හි නියෝජ්‍ය අධිපති Andrew Hauser සඳහන් කළේ, Middle East අර්බුදය, AI තාක්ෂණයේ හදිසි වර්ධනය සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයේ සැපයුම් ධාරිතාවේ පවතින දුර්වලතා උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බවයි. කෙසේ වෙතත්, පොලී අනුපාත වැඩි කිරීම මගින් මෙම ගෝලීය සහ ව්‍යූහාත්මක ගැටලු විසඳිය නොහැකි බවත්, එයින් සිදුවන්නේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම මෙන්ම දේශීය ව්‍යාපාර අඩපණ වීම පමණක් බවත් විශ්ලේෂකයින් පවසනවා.

විශේෂයෙන්ම, Data centres ඉදිකිරීම ඇතුළු AI තාක්ෂණික යටිතල පහසුකම් සඳහා විශාල ලෙස මුදල් ආයෝජනය වීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිවැය සහ වේගවත් ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ සැප්තැම්බර් 29 වනදා පැවැත්වෙන මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේදී පොලී අනුපාත 4.6% දක්වා ඉහළ දැමීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත්, පොලී අනුපාත ඉහළ දැමීම ජීවන පිරිවැය තවදුරටත් ඉහළ යාමට හේතුවන බවට ඕස්ට්‍රේලියානු වැසියන් අතර මතයක් ගොඩනැගී තිබෙනවා.