Quest Apartment හෝටල් ජාලයේ පාරිභෝගිකයින් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවකගේ පෞද්ගලික තොරතුරු දත්ත පද්ධතියකින් සොරාගෙන ඇති බවට වාර්තා වනවා. මීට පෙර අගෝස්තු මාසයේදී අනාවරණය වූ මෙම දත්ත සොරකම සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවලදී පාරිභෝගිකයින්ගේ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර සහ ක්‍රෙඩිට් කාඩ්පත් අංක මෙන්ම CVV අංකද අනවසර පාර්ශ්වයන් අතට පත්ව ඇති බවට තහවුරු වී තිබෙනවා.

වාර්තා වන ආකාරයට පාරිභෝගිකයින් 1,991,613 දෙනෙකුගේ දත්ත මෙමගින් අවදානමට ලක්ව ඇති අතර, 104,000 කට වැඩි පිරිසකගේ ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අංක ඇතුළත් වී ඇති බවයි කියවෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කර අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස Quest Apartment පාලනාධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර, සිදුවූ අපහසුතාව පිළිබඳව Quest Apartment වෙනුවෙන් The Ascott Limited Australasia හි කළමනාකාර අධ්‍යක්ෂ David Mansfield කනගාටුව පල කර සිටිනවා.