Queensland හි ඇප කොන්දේසි කඩකරන තරුණ අපරාධකරුවන්ට අනිවාර්ය අවම සිරදඬුවම් පැනවීමට මෙරට රජය සැලසුම් කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති David Crisafulli ප්‍රකාශ කළේ, තම රජයේ Adult Crime, Adult Time වැඩසටහන යටතේ Queensland ඉතිහාසයේ දැඩිම ඇප නීති සංශෝධනය ඉදිරියේදී ගෙන එන බවයි. ඒ අනුව ඇප මත සිටියදී යම් අපරාධයක් සිදුකිරීම වෙනම වරදක් ලෙස සැලකෙන බව තරුණ යුක්තිය සහ වින්දිත සහාය පිළිබඳ අමාත්‍ය Laura Gerber සඳහන් කළා.

නව දත්තවලට අනුව ACAT නීති හඳුන්වා දීමෙන් පසු බරපතල ලෙස වැරදි නැවත සිදුකරන තරුණ අපරාධකරුවන්ගේ ප්‍රමාණය 29% කින් පහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, ඇප මත සිටින තරුණ අපරාධකරුවන්ගෙන් 61% ක්ම නැවත වැරදි සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙම නීති මගින් සිරකරුවන් සංඛ්‍යාව අධික ලෙස ඉහළ ගොස් සිරමැදිරි පිරී යා හැකි බවටත්, සිරමැදිරියක පිරිස තදබද වීමෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවටත් වෘත්තීය සමිති අනතුරු අඟවනවා. කෙසේ වෙතත්, ඉදිරි වසර කිහිපය තුළ අමතර ඇඳන් 1,400 ක් පද්ධතියට එකතු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.