Queensland හි Down syndrome තත්ත්වයෙන් පෙළුණු 6 හැවිරිදි Connor Dean නමැති පිරිමි දරුවාගේ හදිසි මරණයට Vitamin C ඌනතාවය නිසා ඇතිවන Scurvy රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

2024 අගෝස්තු මාසයේදී මෙම දරුවා Queensland Children's Hospital හිදී පරීක්ෂණයක් සඳහා සිහි නැති කිරීමේ ඖෂධයක් ලබා දීමෙන් පසු හෘදයාබාධයකට ලක්ව මියගොස් තිබුණා.

නියෝජ්‍ය Queensland මරණ පරීක්ෂක Stephanie Gallagher සඳහන් කළේ දරුවාගේ සිරුරේ පැවැති දරුණු Vitamin C ඌනතාවය මෙම හෘදයාබාධයට ප්‍රධානතම හේතුව ලෙස වෛද්‍ය පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති බවයි.

දරුවා ලබාගත් Multivitamin අතිරේකයේ Vitamin C අඩංගු නොවීම මෙම තත්ත්වයට හේතු වූ බවට දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා චෝදනා කළද, එම ඖෂධ නිෂ්පාදකයන් පවසන්නේ Multivitamin මගින් පමණක් දරුණු පෝෂණ ඌනතා සුව කළ නොහැකි බවයි.

Scurvy යනු සිරුරට අත්‍යවශ්‍ය Vitamin C නොලැබීම නිසා ඇතිවන, නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ජීවිතයට පවා තර්ජනයක් විය හැකි රෝගී තත්ත්වයකි.