Queensland ප්‍රාන්තයේ ප්‍රථම සයිබර් ආරක්ෂණ උපායමාර්ගය මෙහෙයවන රජයේ දෙපාර්තමේන්තුවක් සයිබර් ප්‍රහාරයකට ලක්වීමෙන්, ඇමෙරිකානු ඩොලර් 800,000කට වැඩි රාජ්‍ය මුදලක් අහිමි වී ඇති බව නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

පාරිභෝගික සේවා, විවෘත දත්ත සහ කුඩා හා පවුල් ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ, 2025 ජූලි මාසයේදී එල්ල වූ බාහිර සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඩොලර් 809,000ක මුදලක් අහිමි වූ බවයි. තෙවැනි පාර්ශවයක විදුලි සංදේශ සපයන පද්ධතියකට නීති විරෝධී ලෙස ප්‍රවේශ වී මූල්‍යමය වාසි ලබාගැනීමට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, කිසිදු රාජ්‍ය දත්තයක් හෝ සංවේදී තොරතුරක් අනාවරණය වී නොමැති බවයි අදාළ දෙපාර්තමේන්තුව පවසන්නේ.

ප්‍රහාරය හඳුනාගත් වහාම ආරක්ෂිත පියවර ගත් බවත්, නැවත මෙවැනි සිදුවීම් නොවීමට සයිබර් ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.