ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් තේරී පත්වූ දේශපාලන පක්ෂ අතහැර යාම, වෙනත් පක්ෂවලට එකතුවීම හෝ පක්ෂවලින් නෙරපා හැරීම හමුවේ, ඔවුන් නියෝජනය කරන ආසනවල අයිතිය සම්බන්ධයෙන් දැඩි දේශපාලන සහ ව්‍යවස්ථාපිත කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

Fatima Payman, Lidia Thorpe මෙන්ම මෑතකදී Nationals පක්ෂය අතහැර One Nation පක්ෂයට එක්වූ හිටපු නායක Barnaby Joyce වැනි මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කළද, තමන් ජයගත් පාර්ලිමේන්තු ආසන තවදුරටත් දැරීම මීට ආසන්නතම හේතුවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශේෂඥ Professor Anne Twomey පෙන්වා දෙන්නේ, ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයෙකු පක්ෂය වෙනස් කළද ආසනය අහිමි නොවන බවයි. මන්ත්‍රීවරයෙකුගේ මූලික වගකීම වන්නේ පක්ෂයට වඩා තමන්ව පත්කළ ජනතාවට සහ ව්‍යවස්ථාදායකයට සේවය කිරීම බව උච්චතර අධිකරණ තීන්දු මගින් ද තහවුරු කර ඇති බව ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් New Zealand, India සහ Israel වැනි රටවල පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ගේ ආසන අහෝසි වන නීති පැවතියද, ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාපිත රාමුව තුළ එවැනි නීති සම්මත කිරීම සංකීර්ණ බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.