Perth හි පිහිටි ප්‍රසිද්ධ මොඩියුලර් නිවාස සහ ගොඩනැගිලි නිෂ්පාදන සමාගමක් වන Bella Modular ආයතනය හදිසියේම තම නිෂ්පාදන කටයුතු නවතා දමා පරිශ්‍රයෙන් ඉවත් වීම නිසා, අත්පිට මුදල් ගෙවූ පාරිභෝගිකයින් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
මූල්‍ය අර්බුදයක් හේතුවෙන් වැඩබිම් අතහැර දැමූ බවත්, ව්‍යාපෘති අවසන් කිරීම වෙනත් තෙවන පාර්ශවීය සමාගමකට පවරන බවත් පවසමින් Bella Modular සමාගම පාරිභෝගිකයින් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. කෙසේ වෙතත්, එම ලිපියේ අදාළ නව සමාගම කවුරුන්ද යන්න හෝ පාරිභෝගිකයින් තැන්පත් කළ ඩොලර් දහස් ගණනක අත්තිකාරම් මුදල්වලට සිදු වූ දේ පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් කර නැහැ.
ඇතැම් පාරිභෝගිකයින් ඩොලර් 90,000 සිට 160,000 දක්වා විශාල මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා වසරකට වැඩි කාලයක් බලපොරොත්තුවෙන් සිට ඇති අතර, මෙම නිවාස කර්මාන්තශාලා තුළ නිෂ්පාදනය කර පාරිභෝගිකයා විසින්ම ප්‍රවාහනය කරගන්නා මාදිලියක් බැවින් සාමාන්‍ය ගොඩනැගිලි රක්ෂණ ආවරණද මීට අදාළ වන්නේ නැහැ.
ණය ශ්‍රේණිගත කිරීම් නිරීක්ෂණ වාර්තාවලට අනුව Bella Modular සමාගම ඕස්ට්‍රේලියානු බදු අධිකාරියට (ATO) ඩොලර් 5,76,000කට අධික මුදලක් ණය වී ඇති අතර, නොගෙවූ හිඟ මුදල් වෙනුවෙන් අධිකරණ නඩු 3කටද මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.



