Perth CBD හි පිහිටි වසර ගණනක සිට සංචාරක ආකර්ෂණය දිනාගත් Yagan Square හි ස්ථාපිත කර තිබූ සුප්‍රකට PERTH නාම පුවරුව ගින්නකින් දැඩි ලෙස හානියට පත්ව තිබෙනවා. ඊයේ පස්වරු 2:30 ට විතර හටගත් මෙම ගින්න Department of Fire and Emergency Services හි ගිනි නිවන හමුදාව විසින් විනාඩි කිහිපයක් ඇතුළත නිවා දැමීමට කටයුතු කළා. සිද්ධිය වන අවස්ථාවේ අවට සෙසු පිරිස් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර, ගින්නට හේතුව සෙවීමට බලධාරීන් මේ වන විටත් පරීක්ෂණ පවත්වනවා.
වසර 8 ක කාලයක් තිස්සේ ජනප්‍රිය ඡායාරූප පසුබිමක් වූ මෙම නගර සලකුණ හානියට පත්වීම ගැන Yagan Square සමාජ මාධ්‍ය ගිණුම සටහනක් තබමින් කණගාටුව පළ කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් ඒ ගැන අදහස් දැක්වීම Development WA ආයතනය විසින් ප්‍රතික්ෂේප කළා. Perth CBD සහ Northbridge අතර පිහිටි Yagan Square යනු දිනපතා දහස් ගණනක් ජනතාව ගැවසෙන, 2018 වසරේදී ජනතා අයිතියට පැවරුණු ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක්.



