ඕස්ට්‍රේලියානු රජය විසින් පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහන සීමා කිරීමට ගෙන ඇති තීරණය නිසා මෙරට විශ්‍රාමිකයන් දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා. Parliamentary Budget Office (PBO) හි නවතම වාර්තාවකට අනුව, මෙම ප්‍රතිපත්තිය හරහා රජය එකතු කිරීමට බලාපොරොත්තු වන ඩොලර් බිලියන 3 ක මුදලින් ඩොලර් බිලියන 1.6 ක්ම අය කරගැනීමට සිදුවන්නේ අඩු ආදායම්ලාභී වයෝවෘද්ධ විශ්‍රාමිකයන්ගෙනුයි.

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම සංශෝධනය හේතුවෙන් වයස අවුරුදු 65 ට වැඩි 30 ලක්ෂයකට අධික පිරිසකට තම සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් වසරකට අමතරව ඩොලර් සිය ගණනක් ගෙවීමට සිදුවනවා.

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Monique Ryan චෝදනා කරන්නේ, ජීවන වියදම් ඉහළ ගොස් ඇති මොහොතක රජය විසින් සිදුකරන මෙම මුදල් අත්පත් කරගැනීම නිසා බොහෝ පිරිසකට පුද්ගලික රක්ෂණ අතහැර දැමීමට සිදුවන බවයි. එමෙන්ම එමගින් රජයේ රෝහල් පද්ධතිය මත අධික තදබදයක් ඇතිවිය හැකි බවට ප්‍රාන්ත ආණ්ඩු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ද අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler ප්‍රකාශ කළේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රයේ වියදම් පියවා ගැනීම සඳහා මෙම තීරණය අවශ්‍ය බවයි. එලෙසම ආදායම මත පදනම්ව සැමට සාධාරණ ලෙස සෞඛ්‍ය සහන ලබාදීම මෙහි අරමුණ බවද රජය පවසනවා.