Paraquat වල්නාශකය තහනම් නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් පියවර ඕස්ට්‍රේලියාවේ Parkinson රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් පිළිගැනීමට ලක්ව තිබෙනවා.

මෙම වල්නාශකය ස්නායු පද්ධතියට බලපාන Parkinson රෝගයට සම්බන්ධ විය හැකි බවට පවතින අවදානම නිසා දැනටමත් රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක තහනම් කර තිබෙනවා.

 කෙසේ වෙතත්, වසර 30 ක සමාලෝචනයකින් පසු ඕස්ට්‍රේලියාවේ ජාතික රසායනික නියාමන අධිකාරිය පසුගිය ජුනි මාසයේදී තීරණය කළේ එය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා වෙනුවට දැඩි පාලන නීති යටතේ භාවිතයට ඉඩ ලබා දීමටයි.

පසුගිය අඟහරුවාදා ස්වාධීන සෙනෙට් සභික David Pocock විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සන්ධානයේ සහ Greens පක්ෂයේ සහය හිමිවීමත් සමඟ මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට මංපෙත් විවර වුනා.

මෙම රසායනික ද්‍රව්‍යයේ විෂ සහිත බව සම්බන්ධයෙන් කරුණු වසන් කළ නොහැකි බවත්, UK සහ European Union ඇතුළු රටවල් රැසක් එය දැනටමත් තහනම් කර ඇති බවත් Parkinson’s Australia ප්‍රධානී Olivia Nassaris පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වල්නාශකය භාවිතය සෘජුවම රෝග ඇති කිරීමට හේතු වන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ඕස්ට්‍රේලියානු පළිබෝධනාශක හා පශු වෛද්‍ය ඖෂධ අධිකාරියෙහි ප්‍රධානී Scott Hansen ප්‍රකාශ කර ඇත.

ගොවීන්ට වල් පාලනය සඳහා ඵලදායී ක්‍රම අවශ්‍ය වුවද, ඔවුන් භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අනාගතයේදී ඔවුන්ගේ සෞඛ්‍යයට බලපාන්නේ නැති බවට සහතිකයක් ලැබිය යුතු බව සෙනෙට් සභික David Pocock මෙහිදී අවධාරණය කර තිබෙනවා.