සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර යන Ozempic වැනි බර අඩු කරන ඖෂධ කුඩා මාත්‍රාවලින් ලබාගැනීමේ හෙවත් 'Microdosing' රැල්ල සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු වෛද්‍යවරුන් දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා.

බර වැඩි නැති පුද්ගලයින් පවා මෙම ඖෂධ ලබාගැනීම පිළිබඳව විමසීම් කරන බවයි වාර්තා වන්නේ. ම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරගැනීමට සහ ආයු කාලය දීර්ඝ කරගැනීමට මෙසේ කුඩා මාත්‍රාවලින් ඖෂධ ලබාගත හැකි බවට සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් ප්‍රචාරය කළද, ඊට කිසිදු පර්යේෂණාත්මක පදනමක් නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

Australian Medical Association හි සභාපති Dr Danielle McMullen සඳහන් කරන්නේ, Diabetes හෝ අධික තරබාරුකම නොමැති අය මෙලෙස ඖෂධ භාවිත කිරීම ඉතා අවදානම් සහගත බවයි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ඖෂධ මිලදී ගැනීමට යාමෙන් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගත විය හැකි බවත්, ආමාශයික ආබාධ මෙන්ම මන්දපෝෂණය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරනවා.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙවැනි උපදෙස් පිළිපැදීමට පෙර තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවී නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.