Melbourne හි Melton West හි පිහිටි Woodgrove Shopping Centre හිදී 2024 සැප්තැම්බර් මාසයේදී Oscar Hamilton නමැති තරුණයාට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පසුවන තරුණයා වරදකරු බවට Supreme Court ජූරිය තීන්දු කර තිබෙනවා.
අපරාධය සිදුවන අවස්ථාවේ 15 වන වියේ පසුවූ මෙම සැකකාර තරුණයා, තමන් අතින් මෙම ඝාතනය සිදුවූ බව පිළිගත්තද, මරා දැමීමේ හෝ බරපතල තුවාල සිදුකිරීමේ චේතනාවක් නොතිබූ බව පවසමින් චෝදනාවලට නිවැරදිකරු බව ප්රකාශ කර තිබුණා. කෙසේ වෙතත්, මෙය සැලසුම් සහගතව එල්ල කරන ලද ප්රහාරයක් බවටයි පැමිණිල්ල මෙහෙයවූ නීතිඥයින් අධිකරණයේදී තර්ක කළේ.
පැය දෙකකට ආසන්න කාලයක් කරුණු සලකා බැලූ ජූරිය අදාළ තරුණයා ඝාතන චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අතර, මෙම තීන්දුව සම්බන්ධයෙන් මියගිය Oscar ගේ පවුලේ පිරිස තීන්දුව පිළිබඳව සැනසීමට පත්ව සිටිනවා.නීතිමය හේතූන් මත වරදකරු වූ තරුණයාගේ නම හෙළිදරව් කර නොමැති අතර, ඔහුට එරෙහිව දඬුවම් නියම කිරීම ඉදිරි දිනයකදී සිදුකිරීමට නියමිතයි.



