ඕස්ට්‍රේලියාවේ Optus සන්නිවේදන ජාලයේ ඇති වූ තවත් තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ Victoria, South Australia, Tasmania සහ Northern Territory යන ප්‍රදේශවල හදිසි ඇමතුම් සේවාව වන Triple Zero අංකයට ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ පාරිභෝගිකයින් රැසක් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.
පස්වරු 1.30 ට පමණ ආරම්භ වූ මෙම තාක්ෂණික දෝෂය පැයකට අධික කාලයක් පැවැති අතර, ඉන් පාරිභෝගිකයින් 39 දෙනෙකුට හදිසි ඇමතුම් ලබා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්. කෙසේ වෙතත්, පොලිසිය විසින් සිදු කළ සොයා බැලීම්වලදී ඉන් කිසිදු ජීවිත හානියක් හෝ බරපතල අනතුරක් සිදු වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
මෙම බිඳවැටීම පිළිබඳව සිය කණගාටුව පල කරන Optus ආයතනය, මිනිත්තු කිහිපයක් ඇතුළත දෝෂය හඳුනාගෙන ජාලය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් බව නිවේදනය කළා.
පසුගිය මාස 18 ක කාලය තුළ Optus සහ Telstra යන සමාගම් දෙකෙහිම සිදු වූ මෙවැනි බිඳවැටීම් හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් රැසකට හදිසි ඇමතුම් ලබා ගැනීමට නොහැකි වූ අතර, පසුගිය වසරේ සිදුවූ මෙවැනිම විශාල බිඳවැටීමකදී පුද්ගල මරණ 3 ක් පවා වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Australian Communications Consumer Action Network හි ප්‍රධානී Carol Bennett සඳහන් කළේ, හදිසි අවස්ථාවකදීවත් හදිසි ඇමතුම් සේවා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස ඕනෑම ජාලයකින් හදිසි ඇමතුම් ලබා ගැනීමට හැකි Domestic Roaming පහසුකම වහාම නීතිගත කළ යුතු බවත්ය.



