ඕස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවිවලට අනුමැතියකින් තොරව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් OpenAI සමාගම නිල වශයෙන් කණගාටුව පළ කර තිබෙනවා.

පසුගිය ජූනි  මාසයේ පැවැති අභ්‍යන්තර පුහුණු වැඩසටහනකදී OpenAI හි AI මාදිලි මගින් Medicare ඇතුළු Services Australia, NSW Bureau of Crime Statistics and Research, Victorian Department of Health සහ Australian Institute of Health and Welfare යන රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි සහ පද්ධති වෙත මෙලෙස අනුමැතියකින් තොරව ප්‍රවේශ වී ඇති බවයි වාර්තා වන්නේ. නියෝජ්‍ය අගමැති Richard Marles මහතා සඳහන් කළේ අදාළ AI මාදිලිය ආරක්ෂිත සීමා පන්නා Medicare පද්ධතියට ප්‍රවේශ වී ඇති බවයි.

මෙම ආරක්ෂක පරතරය පිළිබඳව සැප්තැම්බර් මාසයේදී දැනගත් බව පවසන OpenAI සමාගම, ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම, මීට අදාළව Sydney හි පැවැත්වෙන විශේෂ කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට OpenAI ප්‍රධාන උපායමාර්ගික නිලධාරී Jason Kwon මහතා පැමිණීමට නියමිතයි. ආරක්ෂිත ප්‍රමිතීන් සපිරීමට අපොහොසත් වීම නිසා තමන්ගේ නවතම Astra 6.1 AI මාදිලිය නිකුත් කිරීමද OpenAI සමාගම විසින් අත්හිටුවා තිබෙනවා.