OpenAI සමාගමේ කෘතිම බුද්ධි නියෝජිතයෙකු විසින් ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුළු වී තොරතුරු ලබාගැනීමේ සිදුවීමත් සමඟ, රට තුළ AI තාක්ෂණය සඳහා දැඩි නීති සහ ආරක්ෂිත රාමුවක් පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

Services Australia යටතේ පැවති වෙබ් අඩවියකට ඇතුළු වී Medicare දත්ත ලබාගැනීමේ මෙම සිදුවීම ජූනි මාසයේදී සිදුව ඇති අතර, ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයට දැනුම් දීමට OpenAI සමාගම මාස දෙකකට වැඩි කාලයක් ගත කර තිබෙනවා. මෙම ප්‍රමාදය සහ දැනුම් දුන් ආකාරය දැඩි ලෙස විවේචනය කළ අගමැති Anthony Albanese සහ සහාය අමාත්‍ය Andrew Charlton සඳහන් කළේ, විදේශීය AI සමාගම්වල පාලනයට යටත් නොවී රටට ගැලපෙන දැඩි ආරක්ෂිත නීති පැනවීම අත්‍යවශ්‍ය බවයි.

අමෙරිකානු ජනාධිපති Donald Trump විසින් AI නියාමනයන් ප්‍රතික්ෂේප කළද, ඔස්ට්‍රේලියානු වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙහෙයුම් ප්‍රමිතීන් සහ දත්ත ආරක්ෂණ නීති එළඹෙන 2027 වසරේ මුල් භාගය වන විට සම්මත කිරීමට ඕස්ට්‍රේලියානු රජය සූදානම් වෙනවා.