ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ, ආහාර පාන සහ නිවාස ණය ගෙවා ගැනීමට අපහසු පුද්ගලයන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් කලින් ලබා ගැනීමට ඉඩ දිය යුතු බවට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා.
One Nation නායිකා Pauline Hanson සහ Barnaby Joyce පෙන්වා දෙන්නේ, මෙම මුදල් සේවකයන්ගේම කැපකිරීම් වලින් එකතු වූ ඒවා බැවින් පළමු නිවස මිලදී ගැනීමේදී හෝ මුල්‍ය දුෂ්කරතාවලදී මෙම අරමුදල් භාවිතා කිරීමට ඉඩ දිය යුතු බවයි.
කෙසේ වෙතත් සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek සහ භාණ්ඩාගාරික Jim Chalmers ඇතුළු Labor රජය මෙම යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙලෙස විශ්‍රාම අරමුදල් කලින් ලබා ගැනීමට ඉඩ දීමෙන් ජනතාවගේ අනාගත විශ්‍රාම දිවිය අවදානමකට ලක්වන බවත්, Labor රජය විශ්‍රාම අරමුදල් ක්‍රමය ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත්ය.
මේ අතර First Guardian සහ Shield Master Superannuation අරමුදල් කඩාවැටීම හේතුවෙන් 12,000 කට ආසන්න පිරිසකගේ ඩොලර් බිලියන 1.2 ක මුදලක් අහිමි වී ඇති බවටද Barnaby Joyce මෙහිදී රජයට චෝදනා කළා.



