One Nation පක්ෂයේ නායිකා Pauline Hanson, අගමැති Anthony Albanese ට එරෙහිව දැඩි චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ ඔහු " ඒකාධිපතියෙකු මෙන්" කටයුතු කරන බවයි. One Nation පක්ෂයට අවශ්‍ය තරම් උපදේශකයින් ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අගමැතිවරයා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ගේ බලය මර්දනය කිරීමට තමන්ට හිමි බලතල අවභාවිත කරන බව ඇය සඳහන් කළා.

Greens පක්ෂයට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට උපදේශකයින් දෙදෙනෙකු බැගින් ලබාදී තිබුණද, මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිටින One Nation පක්ෂයට ලබාදී ඇත්තේ උපදේශකයින් 4 දෙනෙකු පමණයි. තමන්ට අවම වශයෙන් උපදේශකයින් 9 දෙනෙකු හෝ ලබාදෙන ලෙස Pauline Hanson ඉල්ලා සිටියද, Anthony Albanese එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ Greens පක්ෂය සෙනෙට් සභාවේ තීරණාත්මක බලය හොබවන නිසා බව සඳහන් කරමින්. මෙවැනි දේශපාලනික තීරණ අගමැතිවරයා වෙනුවට Remuneration Tribunal වැනි ස්වාධීන ආයතනයක් මගින් ගතයුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මේ අතර, නවතම ජනමත විචාරණයට අනුව Labor පක්ෂය 29% ක ප්‍රතිශතයක් ලබාගනිද්දී One Nation පක්ෂය 26% ක ආසන්න මට්ටමකට පැමිණ තිබෙනවා. එමෙන්ම "සාමාන්‍ය ජනතාවගේ ගැටලු හඳුනන නායකයා" ලෙස 42% ක ප්‍රතිශතයක් ලබාගනිමින් Pauline Hanson, අගමැති Anthony Albanese 41% අභිබවා යාමට සමත්ව වුනා. කෙසේවෙතත්, "රට මෙහෙයවීමට වඩාත්ම සුදුසු නායකයා සහ වඩාත්ම විශ්වාසදායක නායකයා ලෙස 40% කට වැඩි ජනමතයක් දිනාගනිමින් Anthony Albanese තවදුරටත් ඉදිරියෙන් පසුවෙනවා.