ලබන නොවැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයේදී Legislative Council හෙවත් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බලය අත්පත් කරගැනීමට Coalition සහ One Nation පක්ෂ සමත්වනු ඇති බවට නවතම මතවිමසුමකින් හෙළිවී තිබෙනවා. පසුගිය අගෝස්තු 5 සිට 7 දක්වා ජනතාව 2,080කට අධික පිරිසක් ඇසුරින් Roy Morgan විසින් පැවැත්වූ මෙම SMS මතවිමසුමට අනුව, දැනට ආසන 15ක් හිමි Labor පක්ෂයට මෙවර දිනාගත හැක්කේ ආසන 9ක් පමණයි. එමෙන්ම Coalition එකට ආසන 11ක් හිමිවන අතර, One Nation පක්ෂය ආසන 10ක් දිනාගනිමින් විශාල ඉදිරිගමනක් සනිටුහන් කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙම මතවිමසුම් ප්‍රතිඵලවලට අනුව ආසන 40කින් යුත් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය සඳහා අවශ්‍ය ආසන 21ක සීමාව සම්පූර්ණ කිරීමට Coalition සහ One Nation එකතුවට හැකියාව ලැබෙනවා. මේ අතර group voting tickets ක්‍රමය අහෝසි කරමින් පසුගිය සතියේ සම්මත වූ නව පනත හේතුවෙන් කුඩා පක්ෂ සඳහා හිමිවන ආසන සංඛ්‍යාව විශාල ලෙස පහත වැටෙනු ඇති අතර Greens පක්ෂයට හිමිවන ආසන ගණනද 4 සිට 2 දක්වා අඩුවනු ඇති බවයි සඳහන් වන්නේ.

Roy Morgan සමීක්ෂණයට අනුව, එක් ප්‍රදේශයකින් අවම වශයෙන් 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ඕනෑම පක්ෂයකට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් තහවුරු කරගත හැකියි. ඒ අනුව One Nation පක්ෂය Western Metropolitan සහ South-eastern Metropolitan යන කලාපවලින් ආසන 2 බැගින් දිනාගැනීමට නියමිත අතර, Labor පක්ෂයට ආසන 2ක් හිමිවන්නේ Northern Metropolitan කලාපයෙන් පමණයි. තවමත් තීරණය නොවූ ආසන 7ක් පවතින අතර, මෙම පනත් සංශෝධනය නිසා මනාප හුවමාරුවේදී සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් අපතේ යාමට ඉඩ ඇති බවද පැවසෙනවා.