NSW ප්‍රාන්තයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවල පවතින අධික තදබදය සහ රෝගීන්ගේ පෝලිම් අඩු කිරීම සඳහා ඩොලර් මිලියන 130.7ක විශේෂ ආයෝජනයක් සිදු කරන බව NSW ප්‍රාන්ත අගමැති වන Chris Minns ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ප්‍රතිපාදන හරහා ප්‍රාන්තය පුරා පිහිටි රෝහල්වල පවතින හදිසි කෙටි කාලීන ප්‍රතිකාර ඒකක පුළුල් කිරීමට නියමිතයි. පැය 24කට අඩු කාලයක් ඇතුළත ප්‍රතිකාර ලබා දී රෝගීන් පිටත් කර හැරීමට මෙමගින් හැකියාව ලැබෙන අතර, එමගින් වසරකට අමතර රෝගීන් 22,000කට වැඩි පිරිසකට ඉක්මන් ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් සැලසෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ Westmead, Campbelltown, Nepean, Maitland, John Hunter, St George සහ Wyong යන රෝහල් සඳහා අලුතින් ප්‍රතිකාර ඇඳන් සහ ඒකක රැසක් එකතු වන බවයි වාර්තා වන්නේ. රෝහල් පද්ධතිය තුළ පවතින දැඩි පීඩනය අවම කර, රෝගීන්ට ප්‍රමුඛතාව ලබා දී ඉක්මනින් නිවෙස් වෙත යැවීමට මෙම පියවර විශාල සහනයක් වනු ඇති.



