ඉදිරි දශකය තුළ ඕස්ට්‍රේලියාව වෙත අලුතින් එක්වන දත්ත මධ්‍යස්ථාන මගින් ජාතික විදුලි බල පද්ධතියෙන් ලබාගන්නා විදුලි බල ප්‍රමාණය, New South Wales සහ Victoria ප්‍රාන්තවල සමස්ත නිවාස පාරිභෝජනයට ආසන්න අගයක් ගනු ඇති බවට බලශක්ති වෙළඳපොළ නවතම අනාවැකි පෙන්වා දෙනවා.
ඕස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ මෙහෙයුම් ආයතනය සඳහන් කරන්නේ, බලශක්ති පද්ධතියට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාපෘති 225 ක දත්ත පරිශීලනය කිරීමේදී, පසුගිය වසරට වඩා දැවැන්ත විදුලි ඉල්ලුමක වර්ධනයක් ඉදිරියේදී සිදුවන බවයි. Western Australia සහ Northern Territory හැර අනෙකුත් ප්‍රාන්ත ආවරණය වන ජාතික විදුලි බල පද්ධතිය තුළ දැනට Data Centre 165 ක් ක්‍රියාත්මක වන අතර, ඒවා පද්ධතියෙන් ලබාගන්නේ 3% ක විදුලි ප්‍රමාණයක් පමණයි. නමුත් 2036 වන විට මෙම ධාරිතාව TWh 34 දක්වා එනම් සමස්ත විදුලි ඉල්ලුමෙන් 13% ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අගමැති Anthony Albanese ප්‍රකාශ කළේ, මෙරට AI තාක්ෂණයේ සාර්ථකත්වය රැඳී ඇත්තේ ජනතාවගේ විදුලි බිල ඉහළ නොයන බවට සහතික වීම මත බවයි. ඒ අනුව, Data Centre මගින් පරිභෝජනය කරන විදුලියට සරිලන පරිදි නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පද්ධතියට එකතු කිරීම අනිවාර්ය කෙරෙන නව නීති රීති පැනවීමට Albanese රජය සූදානම් වෙනවා.
කෙසේ වෙතත්, ෆෙඩරල් රජයේ මෙම තීරණයට Coalition විපක්ෂය සහ Queensland ප්‍රාන්ත රජය සිය විරෝධය පළ කර තිබෙනවා. විපක්ෂ බලශක්ති අමාත්‍ය Dan Tehan සඳහන් කළේ, සෑම ප්‍රාන්තයකටම තම පද්ධතියට සුදුසු බලශක්ති ප්‍රභවයන් තෝරා ගැනීමට ඉඩ දිය යුතු බවයි. එසේම, මෙම නීති රීති මගින් රටට ලැබීමට නියමිත ඩොලර් බිලියන 150 ක දැවැන්ත ආයෝජනයන් අහිමි වී යා හැකි බවටද විපක්ෂය පෙන්වා දෙනවා.
මීට අමතරව, Greens පක්ෂයේ නායිකා Larissa Waters සඳහන් කළේ, පරිසරයට සහ ප්‍රජාවට සිදුවන බලපෑම පිළිබඳව නිසි නීති පද්ධතියක් සකස් කරන තෙක් Data Centre ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවිය යුතු බවයි.



