පාරිභෝගික දත්ත හොර රහසේ ලබාගෙන, මූල්‍ය වංචා සිදුකරන අපරාධ කණ්ඩායම්වලට අලෙවි කළ බවට චෝදනා ලැබූ දුරකථන සමාගම් සේවකයෙකු NSW පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි මෙම සැකකරු තමන් සේවය කළ ආයතනයේ පාරිභෝගික තොරතුරු අවසරයකින් තොරව ලබාගෙන, තෙවන පාර්ශවයක් හරහා සංවිධානාත්මක අපරාධකරුවන්ට ලබාදී ඇති බවටයි පොලිසිය පවසන්නේ. Queensland පොලීසිය වෙතින් ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණ පැවැත්වූ NSW පොලීසියෙහි මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු Liverpool පොලිස් ස්ථානය වෙත කැඳවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැඳුනුම්පත් තොරතුරු අවභාවිතය සහ අල්ලස් ලබාගැනීම ඇතුළු චෝදනා 34 ක් මොහුට එරෙහිව ගොනුකර ඇති අතර, සැකකරු Liverpool ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.