Northern Territory හි බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගෙන් 3න් 2කට ආසන්න පිරිසක් යම් ආකාරයක මානසික රෝගයකින් පෙළෙන බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. විශේෂඥ සහාය හෝ නිසි මානසික සෞඛ්‍ය පහසුකම් නොමැති පසුබිමකයි මෙම තත්ත්වය වාර්තා වන්නේ.
Royal Australian and New Zealand College of Psychiatry (RANZCP) මගින් Darwin Correctional Centre සහ Alice Springs Correctional Centre හි රැඳවියන් 310 දෙනෙකුගේ වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින් මෙම පරීක්ෂණය පවත්වා තිබෙනවා.
මෙහිදී අනාවරණය වී ඇත්තේ කාන්තා රැඳවියන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයකට මානසික සෞඛ්‍ය ගැටලු පවතින බවයි. එමෙන්ම පිරිමි රැඳවියන්ගෙන් අඩකට වැඩි පිරිසක් සහ කාන්තා රැඳවියන්ගෙන් 70%ක් පමණ මතට ඇබ්බැහි වීමේ දැඩි මානසික ආබාධවලින් පෙළෙන බවද සඳහන්.
North Australian Aboriginal Justice Agency (NAAJA) හි මානසික සෞඛ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ Schizophrenia ඇතුළු සංකීර්ණ මානසික තත්ත්වයන් සහිත මෙම පිරිසට නිසි පුනරුත්ථාපනයක් ලැබෙන්නේ නැති බවයි. එමෙන්ම අදාළ බන්ධනාගාරවල සිටින පිරිසෙන් 90%කට වැඩි ප්‍රමාණයක් Indigenous ජනතාව බවත්, භාෂාමය සහ සංස්කෘතිකමය බාධාවන් නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවත් RANZCP ආයතනය පවසනවා.
සමාජයීය අවාසිදායක තත්ත්වයන් සහ පීඩනයන් මීට ප්‍රධාන හේතුව වී ඇති අතර, හුදෙක් සිරගත කිරීමෙන් පමණක් මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවත්, මීට පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය බවත් විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කරනවා.



