සේවකයින්ට සිය කැමැත්තෙන් වෙනත් රැකියාවලට යෑම වැළැක්වීම සඳහා භාවිත කරන "non-compete clauses" හෙවත් තරගකාරී නොවන කොන්දේසි අහෝසි කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.
e61 Institute හි පර්යේෂණවලට අනුව මෙම නව නීති සංශෝධනය හරහා සාමාන්‍ය සේවකයෙකුගේ වසරක වැටුප 4% කින් පමණ ඉහළ යනු ඇති අතර, එය වසරකට ඩොලර් 2,500 ක අමතර ආදායමක්.
ලබන වසරේ සිට ක්‍රියාත්මක වන මෙම සංශෝධන මගින් ඩොලර් 190,100 ට වඩා අඩුවෙන් උපයන සේවකයින්ට වඩාත් හොඳ වැටුප් සහ සේවා කොන්දේසි සහිත රැකියාවන් වෙත මාරු වීමට නිදහස ලැබෙන බවයි ඵලදායිතා කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Andrew Leigh ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් ව්‍යාපාරික ක්ෂේත්රයේ දැඩි බියක් හටගෙන තිබෙනවා. Australian Industry Group හි ප්‍රධානී Innes Willox පෙන්වා දෙන්නේ, රහස්‍ය තොරතුරු සහිත සේවකයින් වෙනත් තරගකාරී ආයතනවලට එක්වීමෙන් ආයතන දැඩි අර්බුදයකට ලක්විය හැකි බවයි. එමෙන්ම සේවකයින් පුහුණු කිරීමට ආයතන දක්වන උනන්දුව අඩුවීමෙන් රටේ මානව සම්පතට ද හානි සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



