Thriving Kids වැඩසටහනේ පළමු අදියර ඔක්තෝබර් 1 වනදා සිට ආරම්භ වන බව ජාතික මාධ්‍ය වාර්තා කරනවා. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ක්‍රියාත්මක කරන ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමයේ (NDIS) සේවාවන්හි සිදුකරන ලද ප්‍රධාන වෙනස්කම්වල එක් පියවරක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

මෙමගින් Developmental Delay හෝ Autism තත්ත්වයන් සහිත, එහෙත් අවම සහ මධ්‍යම මට්ටමේ සහාය අවශ්‍යතාවලින් පෙළෙන වයස අවුරුදු 8 සහ ඊට අඩු දරුවන්ට NDIS ක්‍රමය වෙනුවට Thriving Kids වැඩසටහන ඔස්සේ උපකාර ලබාදීමට කටයුතු කෙරෙනවා. ඩොලර් බිලියන 4 ක පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මෙන්ම ෆෙඩරල් රජය එක්ව ප්‍රතිපාදන ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත්, NDIS සේවාවන් සඳහා වන නව ඇතුළත් වීමේ නීති වෙනස් වන්නේ 2028 ජනවාරි මාසයේ සිට බැවින් දැනට සිටින දරුවන් ඉන් ඉවත් කිරීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

Thriving Kids වැඩසටහන හරහා පාසල්, මුල් ළමා සංවර්ධන මධ්‍යස්ථාන, ප්‍රජා අවකාශ මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධති තුළදීම දරුවන්ට අවශ්‍ය මූලික සහාය සේවා ලබාදීමට සැලසුම් කර ඇති අතර, මේ යටතේ කථන චිකිත්සා, වෘත්තීය චිකිත්සා වැනි සහායක සෞඛ්‍ය සේවා මෙන්ම කුඩා දරුවන් සඳහා සහාය ලබන ක්‍රීඩා කණ්ඩායම් සහ සෞඛ්‍ය පරීක්ෂණ වැනි පහසුකම්ද ලබාදීමට නියමිතයි. කෙසේ වෙතත්, වැඩි සහායක් අවශ්‍ය සහ ස්ථිර ආබාධිත තත්ත්වයන් සහිත දරුවන්ට NDIS පහසුකම් තවදුරටත් පෙර පරිදිම හිමිවනවා.

මෙම වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් එකඟතාව පළකර තිබුණද, Queensland ප්‍රාන්තය මෙතෙක් ඊට අත්සන් තබා නැහැ. එමෙන්ම වයස අවුරුදු 9 ඉක්මවන දරුවන්ට ඉදිරියේදී ලැබෙන සහාය පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති වීම සම්බන්ධයෙන්ද සංවාදයක් ගොඩනැගෙමින් පවතිනවා.