Victoria හි Mandarin භාෂාව කථා කරන ජනතාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රබල මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිස් බලධාරීන් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
AI තාක්ෂණය ඔස්සේ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ කටහඬ ප්‍රතිනිර්මාණය කරමින් මෙම ජාවාරම සිදුකරන බවයි වාර්තා වන්නේ.
වංචාකරුවන් රෝගීන්ගේ නම සහ පුද්ගලික තොරතුරු භාවිත කර විශ්වාසය දිනාගැනීමෙන් පසු, විවිධ Gift Cards මිලදීගෙන එහි අංක SMS ඔස්සේ එවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. පසුගිය මාසයේ පමණක් මෙවැනි පැමිණිලි 10 ක් ලැබී ඇති අතර, එක් අයෙකුට දින 3 ක් ඇතුළත ඩොලර් 50,000 ක්ද, තවත් අයෙකුට ඩොලර් 40,000 ක්ද අහිමි වී තිබෙනවා.
සයිබර් අපරාධ ඒකකයේ වැඩබලන පරීක්ෂක Eleanor Vallas සඳහන් කරන්නේ කිසිම විටෙක දුරකථන ඇමතුම් ඔස්සේ Gift Cards මිලදී ගන්නා ලෙස හෝ මුදල් හා පෞද්ගලික තොරතුරු හුවමාරු කරන ලෙස ඉල්ලීම් කළහොත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
මෙවැනි සැකකටයුතු ඇමතුමක් ලැබුණහොත් වහාම දුරකථන ඇමතුම විසන්ධි කර අදාළ සායනය හෝ ආයතනයේ නිල අංකයට ඇමතුමක් ලබාගෙන තහවුරු කරගන්නා ලෙසත්, කිසිවිටෙකත් Gift Card codes, බැංකු තොරතුරු හෝ ලිපිනයන් දුරකථනයෙන් ලබානොදෙන ලෙසත් පොලිසිය උපදෙස් දෙනවා.
එමෙන්ම මේ පිළිබඳව පවුලේ පිරිස් සහ වැඩිහිටියන් දැනුවත් කරන ලෙසත්, යම් සැකකටයුතු සිදුවීමක් වුවහොත් Victoria පොලිසිය, Crime Stoppers (1800 333 000) හෝ ReportCyber වෙත දැනුම් දෙන ලෙසත් බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.



